NewsPolitical

අන්තවාදී ප්‍රචණ්ඩත්වයට කිසි විටකත් ඉඩක් නෑ-ජනපති

පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන්ගේ සහ බරපතළ තුවාල ලැබූවන්ගේ පවුල්වල  සාමාජිකයන්ට, ඉන් බලවත් කම්පනයට පත්වූ කතෝලික ජනතාවට සහ සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට තමාගේ සංවේගය පුද කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

-උපුටා ගැනීම-

කුරිරු මතවාදයකින් වියරු වැටුණු පිරිසක් 2019 අප්‍රේල් 21 ඉරිදා ප්‍රධාන පෙළේ කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක මහා මනුෂ්‍ය ඝාතනයක් කොට අදට වසරකි.

මේ සාහසික අපරාධයෙන් ජීවිත අහිමි වූවන්ගේ සහ බරපතළ තුවාල ලැබූවන්ගේ පවුල්වල  සාමාජිකයන්ට, ඉන් බලවත් කම්පනයට පත්වූ කතෝලික ජනතාවට සහ සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට මම මගේ සංවේගය පුද කර සිටිමි.

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 270 ක් පමණ දෙනා මරණයට පත්වූහ. 500 කට ආසන්න පිරිසකට තුවාල සිදු විය. තුවාල ලැබූවන්ගෙන් ඇතැමෙක් පසුව මියගියහ. තවත් අය සදාකාලික ආබාධිත බවට පත්වූහ.

ප්‍රහාරයෙන් මියගිය ඉතා වැඩි පිරිස කතෝලික බැතිමතුන් වුවද එය ඔවුන් පමණක් නෙව සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවම ඉලක්ක කරගත් ත්‍රස්තවාදී ක්‍රියාවකි.  

කුමන මතවාදයක නාමයෙන් මෙබඳු මිනිස් ඝාතන කළ ද එය මනුෂ්‍ය වර්ගයාටම නිගාවකි.

පාස්කු ඉරිදා මිනිස් ඝාතනය පහසු කළ පසුබිම නිර්මාණය වූයේ ජාතික ආරක්ෂාව අමතක කොට ආරක්ෂක සැලසුම් සහ විධිවිධාන අත්හැර තිබූ බැවිනි.

එවැනි අරාජික පරිසරයක අන්තවාදය සහ ත්‍රස්තවාදය හිස එසවීම අරුමයක් නොවේ.

“සෞභාග්‍යයේ දැක්ම” මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ප්‍රතිඥා දුන් පරිදි මගේ පාලන සමය තුළ සියලු ජන කොටස්වල ආරක්ෂාව තහවුරු කරන බවටත්, කුමන ආකාරයක හෝ අන්තවාදයට, අන්තවාදී ප්‍රචණ්ඩත්වයට ඉඩ නොතබන බවටත්, පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිවයුත්තන් නිශ්චිතව හඳුනාගෙන නීතිය හමුවට පමණුවන බවටත් මම මගේ ජනතාවට සහතික වෙමි.  

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට සහ කම්පනයට පත් කතෝලික ජනයා ඇතුළු ශ්‍රී ලංකාවාසීන් වෙත මම නැවත වරක් සංවේගය පළ කර සිටිමි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

පළාත් සභා මැතිවරණය පැවැත්වීම වසර අග දක්වා තවදුරටත් ප්‍රමාද වන ලකුණු

Malar FM

විථි ලාම්පූ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හදන්න මහජන අදහස් ගැනීම 29 ආරම්භවේ

Malar FM

මත්පැන් බලපත්‍රයක් අහෝසි නොකලහොත් කිසි අපෙක්ෂකයෙකුට ජන්දය දෙන්නෑ කියමින් විරෝධතා…

Malar FM