Local NewsNewsSportsSports News

නල්ලූර් කෝවිලේදී විස්සයි-20 ලෝක කුසලානය රැගෙන ආ පිරිස සහ භාරකරුවන් අතර උණුසුම් තත්ත්වයක්

2026 විස්සයි-20 ලෝක කුසලානය යාපනයට රැගෙන ආ අවස්ථාවේදී යාපනය නල්ලූර් කෝවිලේ භාරකරුවන් සහ කුසලානය රැගෙන පැමිණි සංවිධායකයන් අතර දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ. දකුණේ සිට නල්ලූර් කෝවිලට ගිය පිරිස කෝවිල් භූමිය තුළ පාවහන් පැළැඳ එහා මෙහා යෑම සහ අවිධිමත් ලෙස ඡායාරූප ගනිමින් හැසිරීම මෙයට මූලික හේතුව වී ඇත. කෝවිලේ ආගමික වතාවත්වලට සහ සංස්කෘතික වටිනාකම්වලට ගරු නොකිරීම පිළිබඳව එහි භාරකරුවන් සිය දැඩි විරෝධය පළ කර තිබේ.

එහිදී එක් පූජකවරයකු ප්‍රකාශ කර ඇත්තේ තමන්ට කුසලානයට වඩා දෙවියන් වටිනා බැවින්, සංවරව හැසිරීමට නොහැකි නම් එම ස්ථානයෙන් පිටව යන ලෙසයි. පසුව සංවිධායක පිරිස විනීතව හැසිරෙමින් නියමිත කාලය අවසන් වන තෙක් කුසලානය කෝවිල තුළ තබා ගෙන සිට ඇත. කෙසේ වෙතත්, නල්ලූර් කෝවිලේ සම්ප්‍රදාය අනුව පිරිමි පුද්ගලයන් උඩුකය නිරාවරණය කර ඇතුළු විය යුතු වුවද, එය ප්‍රතික්ෂේප කළ පිරිසක් සහ භාරකරුවන් අතර යළිත් බහින්බස් වීමක් සිදුවීම නිසා එම ස්ථානය ඉතා උණුසුම් වී තිබේ.

මෙම සිදුවීමෙන් අනතුරුව කෝවිලේ භාරකාර මණ්ඩලය තීරණය කර ඇත්තේ කෝවිලේ චාරිත්‍ර හා විනය විරෝධී ලෙස හැසිරෙන කණ්ඩායම්වලට මින් ඉදිරියට කිසිදු කටයුත්තකට අවසර ලබා නොදීමටයි. ඕනෑම සංස්කෘතික හෝ ආගමික සිද්ධස්ථානයක පවතින අනන්‍යතාවන්ට ගරු කිරීමේ වැදගත්කම මෙම සිද්ධිය හරහා නැවතත් අවධාරණය වී තිබේ.

Related posts

අලිගැටපේර, ඔලිව්තෙල්වල අඩංගු ශාක තෙල් ආයු කාලය දීර්ඝ කරන බව හෙළිවේ

Malar FM

GMOA වර්ජනය අත්හිටුවයි..

Malar FM

විදුලි ගාස්තු 11%කින් ඉහළ නැංවීමට සැළසුම් කරන බවට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයෙන් අනාවරණයක්

Malar FM