News Political

අගමැති අස්වෙන්න ගිහින්.. ජනපති බාර නොගනී…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ජනාධිවරයාට දන්වා ඇතැයි නෙත් ගුවන් විදුලිය වාර්තා කලේය.

නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එය වළක්වා ඇති බවද ඔවුන් සදහන් කරයි.

ඊට හේතු වී ඇත්තේ දැනට ශ‍්‍රී ලංකා රජය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡායි.

යම් ලෙසකින් අග්‍රාමාත්‍යවරයා මේ මොහොතේ ධුරයෙන් ඉවත් වුවහොත් කැබිනට් මණ්ඩලයම ඉවත් වූවා සේ සැලකෙන නිසා එය ඇමරිකාවට ගොස් සිටින මුදල් අමාත්‍යවරයාට ද බලපාන බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

මේ අතර අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍ය ධුරයෙන් යුතුව ආණ්ඩුව ශක්තිමත්ව ගෙන යාම සඳහා වන යෝජනාවක් සම්මත වූ බවයි.

අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යෑමේ යෝජනාව පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක එකේ 21 පස්වරුවේ රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව සම්මත විය.

රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආණ්ඩුව ඊට ශක්තිමත්ව මුහුණ දිය යුතු බවත් ඒ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යායුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා මෙම රැස්වීමේ දී යෝජනා කළේය.

සියලුම මන්ත්‍රීවරුන් ඉහළට අත් ඔසවමින් එම යෝජනාවට ඒකමතිකව සහය පළ කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.කේ.සුමිත් මහතා එම යෝජනාව ස්ථිර කළේය.

ඉදිරි සති කිහිපය තුළ ජනතාවට අවශ්‍ය කඩිනම් සහන ලබා දීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහිදී විෂය භාර අමාත්‍යවරු විසින් පැහැදිලි කරනු ලැබූහ.

මෙහිදී අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ සති කිහිපයක් ඇතුළත ඉන්ධන සහ විදුලි කප්පාදු ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවය. ගෑස් ගැටළුවද සති කිහිපයක් ඇතුළත විසඳිය හැකි බව අධ්‍යාපන හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී කියා සිටියේය.

උද්ගත වූ තත්ත්වයත් සමඟ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ  මන්ත්‍රීවරුන් අමාත්‍යධුර  වලින් ඉවත්ව ලබා දුන් සහයෝගයට පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ ස්තූතිය මෙහිදී පිරිනැමිණි.

නවක අමාත්‍යවරුන්ට ශක්තිමත්ව ඉදිරි කටයුතු කරගෙන යෑමට අවශ්‍යය සහයෝගය ලබාදෙන බවට මන්ත්‍රීවරු මෙහිදී පැවසූහ.

ආණ්ඩුව අස්ථාවර බවට ගෙන යන වැරදි ප්‍රචාර තුළින් ජනතාව ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය බිඳ දැමීමට යම් යම් පිරිස් කටයුතු කරගෙන යන බවද ආණ්ඩුව අස්ථාවර වීමට පක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස කිසිසේත් ඉඩ නොතබන බවද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මෙහිදී අග්‍රාමාත්‍යතුමාට විශ්වාසය පළ කළහ.

ආණ්ඩුව ශක්තිමත් කිරීමට අවශ්‍ය සහයෝගය ඉදිරියේදී තවත් ඉහළ යනු ඇතැයි මන්ත්‍රීවරු මෙහිදී ප්‍රකාශ කළහ.

මෙම අවස්ථාවට සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්වරු සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තුවේ සභානායක ලේකම් හර්ෂ විජේවර්ධන, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් චමින්ද කුලරත්න, අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධිකරණ ලේකම් ප්‍රියන්ත රත්නායක මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වුහ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

Related posts

අදම ඇදරි නීතිය දමන්නැයි AMS කියයි..

Shiran Viraj

රත්නපුරෙන් පවිත්‍රාට මනාප ලක්ෂ 2ක්

Shiran Viraj

වසන්තට කට වරදී… කෝටි 10ක වන්දියක් ඉල්ලා ආනන්ද හිමි නඩු දමයි…

Shiran Viraj

Leave a Comment