පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කර සේවයේ නිරත වන්නේ දැයි සොයා බලා, වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන (Mobile Drug-testing programme) රට පුරා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන මඟින් පොදු ප්‍රවාහනයේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ඊයේ (13) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව කියා සිටියේය.
මෑතකාලීනව රියදුරන් විශාල වශයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් මාර්ගවල අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දුන් ඒ මහතා, මත්ද්‍රව්‍යවලින් තොර ආරක්ෂිත රිය පැදවීමක් සහතික කිරීම වෙනුවෙන් පසුගිය නොවැම්බර් මාසයේදී මෙම ජංගම පරීක්ෂණ වැඩසටහන ආරම්භ කළ බව පැවසීය. මෙම වැඩපිළිවෙළ යටතේ බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් 5,242 දෙනෙකු බස්නාහිර පළාත තුළ පමණක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඉන් 239 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වීම නිසා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත. මෙම වසර අවසන් වීමට පෙර සිදුකරන පරීක්ෂණ සංඛ්‍යාව දෙගුණ කිරීමටත්, බස්නාහිර පළාතෙන් ඔබ්බට මෙහෙයුම් ව්‍යාප්ත කිරීමටත් සැලසුම් කර තිබේ.
මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර සහ නිසි පුහුණුවක් ලැබූ සේවකයන් පමණක් සේවයේ යෙදවීමට පියවර ගන්නා ලෙස බස් රථ හිමියන්ගෙන් ඉල්ලා සිටි සභාපතිවරයා, මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම මඟින් මගීන්ගේ ජීවිත අනතුරේ වැටෙන අතරම එය ඔවුන්ගේ රියදුරු බලපත්‍ර අහෝසි වීමට ද හේතු විය හැකි බව අවධාරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජයසිංහ මහතා කියා සිටියේ බස්නාහිර පළාත තුළ 11,000ක පමණ පිරිසක් පොදු ප්‍රවාහන සේවයේ නිරතව සිටින බවයි. රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට සමාජයේ පොදු මතයක් පැවතිය ද එය සැමටම අදාළ නොවන බවත්, මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස් නිවැරදිව හඳුනාගෙන ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට බවත් ඔහු පැවසීය.
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති ඉංජිනේරු මංජුල කුලරත්න මහතා ද මෙම මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේ, මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරී සැලැස්මේ තිරසාර පියවරක් ලෙස මෙම ජංගම පරීක්ෂණ ඒකකය හඳුන්වා දුන් බවයි. මේ වන විට වැටලීම් 5,000කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇති අතර, මහජන ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන ඉදිරියේදී තවදුරටත් පුළුල් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.