කාලගුණය සහ දේශගුණික විපර්යාස කෙරෙහි අවධානය යොමු කිරීම මහජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු වගකීමක් මෙන්ම අත්‍යවශ්‍යම අවශ්‍යතාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. රටේ ආර්ථික ස්ථාවරත්වයට මෙන්ම ආහාර සහ ජල සුරක්ෂිතතාවයට මෙහි ඇති වැදගත්කම අවධාරණය කළ ඒ මහතා, මෙම ගැටලුව ජාතික ආරක්ෂාව කෙරෙහි ද සෘජුවම බලපාන බැවින් විවිධ පාර්ශ්වයන් සමඟ පොදු එකඟතාවකට පැමිණ පූර්ව කළමනාකරණ පද්ධතියක් (proactive management system) කරා යා යුතු බව පෙන්වා දෙයි.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය (Parliamentary Forum on Climate Change) අමතමිනි. විපක්ෂ නායකවරයා සහ මහාචාර්ය අබේවික්‍රම යන මහත්වරු මෙම සංසදයේ සම සභාපතිවරුන් ලෙස කටයුතු කරති.
පාර්ලිමේන්තුව සෑම මසකම සති දෙකක් රැස්වන බැවින්, එක් එක් පාර්ලිමේන්තු වාරය තුළ එක් දිනයකදී මෙම සංසදය රැස්විය යුතු බව විපක්ෂ නායකවරයා යෝජනා කළේය. මෙය එක් පුද්ගලයෙකුට පමණක් කළ හැකි කාර්යයක් නොවන බවත්, දේශගුණ විද්‍යාඥයන්, විද්වතුන් සහ ස්වාධීන උපදෙස් දෙන කණ්ඩායම් ඇතුළු විවිධ පාර්ශ්වයන් මේ සඳහා සම්බන්ධ වී සිටින බැවින් මෙම සංසදය පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගොස් ක්‍රියාත්මක වන බවත් ඔහු අවධාරණය කළේය.
කාලගුණය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ගොවීන්, ධීවරයන් සහ ව්‍යාපාරිකයන් මුහුණ දෙන අභියෝග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු බව පැවසූ ඒ මහතා, පරිසරය සහ දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂඥ විද්‍යාත්මක දත්ත පදනම් කරගත් තොරතුරු කේන්ද්‍රීය, ප්‍රතිචාරාත්මක වැඩසටහනක් කරා සංක්‍රමණය වීම මෙම සංසදයේ මූලික අවධානය බව සඳහන් කළේය. ඒ හරහා ආපදාවන් සිදුවීමට පෙර ඒවාට සූදානම් වන රටක් නිර්මාණය කිරීම තම අරමුණ බව ද ඔහු කියා සිටියේය.
මෙහිදී ‘එල් නිනෝ’ (El Nino) සහ ‘ලා නිනා’ (La Nina) දේශගුණික සංසිද්ධීන් පිළිබඳව ද විවිධ අදහස් පළ වූ අතර, ඉන් වත්මන් යල කන්නයට සැලකිය යුතු බලපෑමක් එල්ල නොවූවද, ඉදිරි කන්නයන් සඳහා සහ හුරුපුරුදු නොවන දේශගුණික තත්ත්වයන් හමුවේ ඉන් ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව ද සංසදයේදී සාකච්ඡාවට බඳුන් විය.
මෙම අවස්ථාවට දේශීය හා විදේශීය විද්වතුන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විශාල පිරිසක් සහභාගි වූ අතර, ඒ අතර මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න, මහාචාර්ය බුද්ධි මාරඹේ, මහාචාර්ය එනෝකා කුඩාවිදානගේ, ආචාර්ය ඇන්ඩෲ කිට්ල්, රුක්ෂාන් ජයවර්ධන, අංජලි වොට්සන්, දුෂ්‍යන්ත සිල්වා, ස්පෙන්සර් මැනුවෙල්පිල්ලේ, දිලුම් අලගියවන්න, සේනක චන්දිම අබේරත්න, දනුමි දර්ශනා ද සොයිසා, ආචාර්ය අපරාජිතා ආරියදාස, මහාචාර්ය රොෂාන්ක රණසිංහ, ආචාර්ය රොහාන් පල්ලේවත්ත, කොරලගමගේ දිලන්ති නදීකා, ජී. ඩී. හේමන්ති ගුණසේකර, හැරල්ඩ් බණ්ඩාරනායකලාගේ රවිඳු ඉරේෂ් සහ චන්දිනී රාමනායක යන මහත්ම මහත්මීහු වූහ.