Local NewsNews

විදුලි බිල වැඩි කළේ බොරුවට…

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

විදුලිය බිල වැඩි කළේ බොරුවට

විදුලිය බිල හදිසියේ ඉහළට එසවිය යුතුබවට තීරණය වීම ආරම්භ වන්නේ ලංකා විදුලිබල මණ්ඩලය 2023 සැප්තැම්බර් 04වන දින මහජන උපයෝගීතා කොමිසමට යොමු කළ ලිපියක, මෙම වසරේ රුපියල් බිලියන 32.5ක පාඩුවක් අත්වනු ඇතැයි ගණන් බලා සටහන් කිරීමෙනි. එහෙත් එයින් මසක් ඉකුත්ව යත්ම ඔවුහු නැවත් ගණන් බැලීමෙදී මේ වසරේ පාඩුව රුපියල් බිලියන 18.7 කට අඩුවන බව පවසයි. මෙතරම් කෙටි කලෙකින් ඇස්තමේන්තු විශාල වශයෙන් වෙනස් වන ආකාරය සැලකීමේදී එම ඇස්තමේන්තු වැරදි සහගත බැව් පැහැදිළි වෙයි.

ශ්‍රී ලංකාව තුල ප්‍රධාන වශයෙන් විදුලිය නිපදවනු ලබන්නේ ජල විදුලි බලාගාර සහ, තාප බලාගාර මගින්ය. තාප විදුලි බලාගාර තෙල් දහනයෙන් මෙන්ම ගල් අඟුරු දහනයෙන්ද ක්‍රියාත්මක වෙයි. මෙම 2023 වසර සඳහා ඇස්තමේන්තු ගත නිෂ්පාදන දල වශයෙන්, ජල විදුලිය එක් ඒකකයකට(kWh) රු. 3.35ක්ද, ගල් අඟුරු සඳහා රු 35ක් සහ තෙල් සඳහා රු 65ක් පමණද ගණන් බලා තිබේ. ජල විදුලි ඒකකයක වියදම මෙන් දස ගුණයක් පමණ ගල් අඟුරු මගින් ජනනය සඳහා ද විසි ගුණයක පමණ වියදමක් තෙල් මගින් ජනනය සඳහාද වැය වෙයි. මේ නොවැම්බර් සහ දෙසැම්බර් සඳහා 26%ක් ජල විදුලියෙන්ද, 22% ක් තෙල් දහනයෙන්ද, 39%ක් ගල් අඟුරු මගින්ද නිපදවීමට සිදුවන බැව් ඇස්තමේන්තු කොට තිබිණි. එහෙත් අද වන විට ඇදහැලෙන තද වැසි සමග 70%ක් පමණ ජල විදුලියෙන් නිපදවෙන අතර ගල් අඟුරු මගින් 26%ක්ද නිපදවෙන අතර තෙල් දහනයෙන් විදුලිය සියයට දශම ගණනක් පමණක් නිපදවයි. මේ හේතුවෙන් මේ දිනවල විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 12කට පමණ පහතගොස් ඇති අතර එය පෙර ඇස්තමේන්තු අගයෙන් 1/3ක් පමණි.

මෙලෙස වසරේ අවසන් ඇස්තමේන්තු ප්‍රමාණයට වඩා 500GWh ප්‍රමාණයකින් තෙල් දහනයෙන් නිපදවන විදුලිය අඩුවන බවත් ගල් අඟුරු මගින් නිෂ්පාදනය 250GWh ප්‍රමාණයකින් අඩුවන බවත් මේ වන විට පැහැදිලිය. ඔක්තෝබර් 17 දා ලං.වි.ම. මහජන උපයෝගීතා කොමිසමට දන්වා සිටින්නේ සැප්තැම්බර් මාසයේ තෙල් දහනය අඩුවීමෙන් 300GWh ප්‍රමාණයක් ඇස්තමේන්තුවෙන් පහතයාමෙන් රුපියල් බිලියන 17.8ක් පහත ගිය බවයි. එලෙසින් තවදුරටත් තෙල් මගින් රුපියල් බිලියන 29.7ක් සහ ගල් අඟුරු මගින් රුපියල් බිලියන 7.5 පමණ ඉතිරි වීමට නියමිතයි. මේ ලං.වි.ම. මගින් සිදු කළ තක්සේරු කිරීම් මත පදනම් ව සිටිමින්ය. ඔවුන්ගේ තක්සේරු කිරීම් 88%ක් අවස්ථාවන්හිදී අධිතක්සේරු කිරීම් බැව් දකින්නට ද තිබේ. ඔවුන්ගේ ගණනයන් අනුවම වුවත් මේ වන විටත් ඔවුන්ගේ පාඩු පියවී ඇති අතර, ඒ අනුව මේ වසර තුළ පෙර විදුලි බිලට අනුව ආදායම ලැබුවත් රුපියල් බිලියන 10කට වඩා ලාභයක් අත්කර ගැනීමට ලංවිම සමත්වන බැව් පෙන්වා දියහැකිය. ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් සඳහා වැඩි වැසි කාලගුණ දෙපාර්තමේන්තුව අනාවැකි පළකොට තිබියදීත්, මෙලෙස වැරදි තක්සේරු හරහා අලාභයක් ඇස්තමේන්තු කොට මේ වසරේ හදිසි විදුලි බිල ඉහළ නැංවීම කිසි ලෙසකත් අවශ්‍ය නොවුණි. එහෙයින් මෙම වසර සඳහා විදුලි බිල ඉහළ නැංවීම වහාම අවලංගු කළ යුතු බව අප අවධාරණය කර සිටිමු.

එමෙන්ම ඇස්තමේන්තු බොහෝ සෙයින් වෙනස් වන හෙයින්ද, 2024 ජලාශයන්හි ආරම්භක ජල ධාරිතාව බොහෝ සෙයින් ඇස්තමේන්තු ගත අගයන්ට වඩා ඉහළ යන හෙයින්ද, 2024 ජනවාරි- ජූනි සඳහා විදුලිබිල නැවත ගණනය කළයුතු බැව්ද අවධාරණය කර සිටිමු.

කපිල රේණුක පෙරේරා
සභාපති
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ

Related posts

රතන හිමිගේ කපටිකමට ගරු කරන්නේ නෑ.. පාර්ලිමේන්තු යන්න ජාතික ව්‍යාපාරය භාවිතර කරන්න දෙන්නේ නෑ..- ඥාණසාර හිමි

Malar FM

ඉන්දීය ණය අවසන්.. තවත් ණයක් තාම නෑ.. සියළු වෙලද ව්‍යාපාර වැසී යාමේ තත්වයක්..

Malar FM

තුන්වේල අතහැර දෙවේලක් කාලා කැපකිරිම් කරන්න..

Malar FM