Local NewsNews

වගාවන් රිලවුන්ට දී ගොවීන් වෙන රස්සා සොයති..

රිලවුන්, වල් අලින් සහ මොනරුන් 2022 සහ 2023 වසරවල දී රුපියල් බිලියන 55.3ක පොල්, වී, එළවළු, බඩ ඉරිඟු, කෙසෙල් අස්වැන්න රටට අහිමි කර තිබෙන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පවසයි.

වාර්ෂික සමස්ත පොල් නිෂ්පාදනයෙන් ගෙඩි මිලියන 86.7 ක් රිලවුන්, දඬු ලේනුන් සහ වල් අලින් විසින් විනාශ කරන බවත් එහි වටිනාකම රුපියල් බිලියන 5.2ක් බවත් හෙතෙම අනාවරණය කරයි.

මෙරට සමස්ත පොල් වගාව අක්කර එක් ලක්ෂ හතළිස් හතර දහස් පන්සියයක් බවත් එහි සමස්ත පලදාවෙන් සියයට හතළිස් පහක් පමණ රිලවුන් දඬු ලේනුන් සහ වල් අලින් විසින් විනාශ කරන බවත් පැවසූ සභාපතිවරයා සමස්ත වී වගාවෙන් සියයට 25ක්, බඩඉරිඟු වගාවෙන් සියයට 11ක්, එළවළු වගාවෙන් සියයට 7ක් වන සතුන් විසින් විනාශ කර තිබෙන බව ද කීය.

ඉහත දෙවසරේ දී වී කිලෝ මිලියන 131ක් වල් අලින් සහ මොනරුන් විසින් විනාශ කර තිබෙන බවත් එහි වටිනාකම රුපියල් බිලියන 13.2ක් බවත් ඔහු පැවසීය. කෙසෙල් කිලෝ මිලියන 169ක් රිලවුන් සහ වල් අලින් විසින් විනාශ කර ඇත. රුපියල් බිලියන 22.1 ක් කෙසෙල් වගාව විනාශ කිරීමෙන් රටට අහිමිවී ඇත.

බඩ ඉරිඟු කිලෝ මිලියන 6.8ක් පමණ රිලවුන් සහ වල් අලින් විසින් විනාශ කර ඇත. රුපියල් බිලියන 10.3ක් එමගින් අහිමි වී තිබෙන අතර රුපියල් බිලියන 4.5ක එළවළු කිලෝ මිලියන 59.7ක් රිලවුන් සහ වල් අලින් විසින් විනාශ කර තිබෙන බව අනුරාධ තෙන්නකෝන් මහතා පැවැසීය.

2022 සහ 2023 වසරවලදී ඉහළම වන සත්ව හානියෙන් ඌව පළාතේ හෙක්ටයාර් 45000ක් සම්පූර්ණයෙන්ම හානියට පත්ව ඇති බවත් තෙන්නකෝන් මහතා පැවසීය. වයඹ පළාතේ හෙක්ටයාර් 38500 ක් දකුණු පළාතේ හෙක්ටයාර් 35500ක් මධ්‍යම පළාතේ හෙක්ටයාර් 30000ක් නැගෙනහිර පළාතේ හෙක්ටයාර් 28750 ක්, සබරගමුව පළාතේ හෙක්ටයාර් 25250ක්, බස්නාහිර පළාතේ හෙක්ටයාර් 14000ක් සහ උතුරු පළාතේ හෙක්ටයාර් 16000ක් වන සත්ව හානියෙන් විනාශයට පත්වූ බව ද ඔහු කීය.

මොනරුන් සහ රිලා ගහනය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බවත් වන සත්ව ගහනය පාලනය කිරීමට බලධාරීන් මැදිහත් නොවීම කෘෂිකර්මාන්තයට දැඩිව බලපා තිබෙන බවත් වන සත්ව ගහනය සහ ගම්වැදීම පාලනයට නවීන තාක්ෂණය යොදා ගැනීමට බලධාරීන් තව දුරටත් අසමත් වන්නේ නම් ගොවියා ගොවිතැනින් ඉවත්වීමේ අවදානම නුදුරේදීම ඇති වන බවත් අනුරාධ තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

Related posts

පළමු න්‍යෂ්ටික බලාගාරය සඳහා ස්ථාන පහක් ශ්‍රී ලංකාවෙන් හඳුනා ගනී

Malar FM

පසුගිය පාලන සමයන්හි දූෂණ විමර්ශනය සාක්ෂි මකා දැමීම නිසා අසීරු වී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි

Malar FM

නව ඡන්ද ක‍්‍රමයකට කැබිනට් යෝජනාවක්.. ජනාධිපතිවරණයත් කල් යයි..?

Malar FM