Local NewsNews

කොරියාවේ සෘතුමය රැකියා: ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නව මං

ශ්‍රී ලංකා රජය සහ දකුණු කොරියානු රජය අතර ඇති කරගත් නව එකඟතාවන්ට අනුව, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා දකුණු කොරියාවේ සෘතුමය රැකියා අවස්ථා රැසක් උදා වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) වාර්තා කරයි.

මෙම වැඩසටහන යටතේ ඉහළ ආදායම් ලැබිය හැකි ගුණාත්මක රැකියා සඳහා අවස්ථා හිමි වන බව කාර්යාංශය පෙන්වා දෙයි. විශේෂයෙන්ම, E-8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දීම සඳහා දකුණු කොරියාවේ බෝසොං පළාතේ පළාත් පාලන ආයතනය සමඟ සාර්ථක සාකච්ඡා අවසන් කර ඇති අතර, ඒ සඳහා අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ද හිමිව තිබේ.

මෙම නව අවබෝධතා ගිවිසුමට අනුව, ශ්‍රී ලාංකික සේවකයන්ට මාස අටක කාලයක් බෝසොං පළාතේ කෘෂිකාර්මික අංශයේ සේවය කිරීමට හැකි වනු ඇත. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත් හේරත් මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා හරහා මෙම නියමු ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලැබී ඇත.

මීට අමතරව, දකුණු කොරියාවේ යොන්ග්වෝල් පළාත සමඟ ද තවත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අනුමැතිය ලැබී ඇති අතර, මෙම ගිවිසුම් කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරමින් සිටින බව SLBFE සඳහන් කරයි.

මෙම රැකියා සඳහා අයදුම් කිරීමේ ක්‍රමවේදය සහ අවශ්‍යතා පිළිබඳව මහජනතාවට ඉක්මනින් දැනුම් දෙන බවත්, එතෙක් නිල රජයේ නිවේදන හැර වෙනත් කිසිවක් විශ්වාස නොකරන ලෙසත්, ව්‍යාජ රැකියා දැන්වීම් හරහා මුදල් වංචා කරන පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් වන ලෙසත් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

රනිල් සහ සාගල අද ජනපති කොමිසමට

Malar FM

කොරෝනා අනු පොකුරු බිහිවීමේ අවධානමක් : ඊයේ ආසාදිතයින් 487ක් සහ මරණ 02ක්

Malar FM

ආණ්ඩුවෙන් ඉවත් වීමට දෙවරක් සිතන්නෑ.. විමල්ගේ යෝජනාවට මා එකගයි..- තොණ්ඩමන් මාධ්‍ය හමුවක….

Malar FM