Local NewsNewsPolitical

40 වැනි ‘කලාභූෂණ’ රාජ්‍ය සම්මාන උලෙළ අරලියගහ මන්දිරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ

මෙරට කලා ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකළ කලාකරුවන් ඇගයීමට ලක් කෙරෙන 40 වැනි ‘කලාභූෂණ’ රාජ්‍ය සම්මාන උලෙළ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. කලාකරුවෙකු මෙරටදී ලබන ඉහළම ඇගයීමක් ලෙස සැලකෙන මෙම සම්මානයෙන් දිවයින පුරා විසිරී සිටින පරිණත කලාකරුවන් 200 දෙනෙකු මෙවර පිදුම් ලැබූහ. සංගීතය, නර්තනය, සාහිත්‍යය, නාට්‍ය සහ චිත්‍ර මූර්ති ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් තේරී පත් වූ මෙම ශිල්පීන් වෙත කලාභූෂණ ගෞරව නාමය, උපහාර සම්මානය, සහතික පත්‍රය සහ මුදල් ත්‍යාග පිරිනැමීම මෙහිදී සිදු විය.

ප්‍රවීණ කලාකරුවන් වන සෝමරත්න බාලසූරිය, ලූෂන් බුලත්සිංහල, නිරංජලා සරෝජනී, මනෝජ් පීරිස්, විනී හෙට්ටිගොඩ සහ ඉන්ද්‍රානි බෝගොඩ ඇතුළු ජාතික තලයේ කලාකරුවන් රැසක් මෙවර සම්මානයෙන් පිදුම් ලැබූ පිරිස අතර වූහ. සම්මාන උලෙළ අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සීමිත තාක්ෂණික පහසුකම් පැවති යුගයක පවා සිය සහජ කුසලතාවය මෙහෙයවා දේශීය කලාව පෝෂණය කිරීමට මෙම පරිණත කලාකරුවන් දැක්වූ දායකත්වය අතිශයින් අගය කළ යුතු බවයි. එමෙන්ම වර්තමානයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව ඇති විවේචන පිළිබඳව ද අදහස් දැක්වූ අමාත්‍යවරයා, එවැනි විවේචන මඟින් කියාපාන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ප්‍රමාද වීමේ අහිතකර ප්‍රතිඵල බව පෙන්වා දුන්නේය.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ මෙම උළෙල සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නලින් හේවගේ සහ මුනීර් මුලෆ්ෆර් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන කලාකරුවන් විශාල පිරිසක් සහභාගී වූහ. දශක හතරක අඛණ්ඩ ගමනක් සනිටුහන් කරමින් පැවැත්වූ මෙම සම්මාන උළෙල මෙරට කලාකරුවන්ගේ අභිමානය සහ වටිනාකම තහවුරු කරන සුවිශේෂී අවස්ථාවක් ලෙස අවසන් විය.

Related posts

නුවරඑළියට මහ විපතක්: කඳපොළ එළවළු වගා සම්පූර්ණයෙන්ම විනාශයි!

Malar FM

සංචාරක කලාපවලට ඉන්ධන, ගෑස් අඛණ්ඩව දෙයි.. විදුලි කප්පාදුවක් නෑ..

Malar FM

අරලියගහ මැදුර වැටලූ විරෝධතාකරුවන් එලවන්න ඉල්ලූ තහනම් නියෝගය ප‍්‍රතික්‍ෂෙපයි..

Malar FM