කැමැති වුවත් අකැමැති වුවත් ශ්‍රී ලංකාවේ පැවැත්ම තීරණය වන්නේ චීනය මත බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි. ලෝක නිෂ්පාදනයෙන් තුනෙන් එකක් සතු චීනයට අවශ්‍ය තාක් කල් ඉවසා සිටීමේ හැකියාව පවතින නමුත්, කාලය නොමැතිව ලෙහෙසියෙන්ම අසීරුතාවට පත් වන්නේ අප වැනි රටවල් බව ද ඒ මහතා පෙන්වා දෙයි.
මහනුවරදී පසුගිය අඟහරුවාදා (30) පැවැති තමන්ගේ නවතම කෘතිය වන ‘එකට ගැටුම’ දොරට වැඩීමේ උත්සවයට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඇමෙරිකා – ඉරාන ගැටුම පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඇමෙරිකාව හෝ ඉරානය මහා පරිමාණ යුද්ධයකට සූදානම් නැති බවත්, විශේෂයෙන්ම ඇමෙරිකාවට එවැනි යුද්ධයක් දරාගැනීමට කිසිසේත්ම නොහැකි බවත්ය.
ඉන්දියාව ඩොලර් ට්‍රිලියන හතරක ආර්ථිකයක් සහිත දැවැන්ත බලවතෙකු වුවද, එරට තවමත් පවතින්නේ දුප්පත් මට්ටමක බව රණවක මහතා සඳහන් කළේය. ඉන්දියාවේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 2,600ක් වන විට ශ්‍රී ලංකාවේ එය ඩොලර් 5,000ක් වන බැවින්, ඔවුන්ගේ ආදායම අපෙන් අඩක් බවත්, බොහෝ දෙනා ඉන්දීය වෙළෙඳපොළට ඇතුළු වීමට උත්සාහ කළ ද තමන් එය විශ්වාස නොකරන බවත් ඔහු පැවසීය.
ජාත්‍යන්තර දේශපාලනයේ පැරණි මතවාදී ගැටුම් දැන් අවසන් වී ඇති අතර, වර්තමානයේ ‘වම’ හෝ ‘දකුණ’ කියා වෙනසක් නොමැති බව හිටපු අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එදා ජේ.ආර්. ජයවර්ධන මහතා කියුබාවට ගිය අවස්ථාවේදී ෆිදෙල් කැස්ත්‍රෝ ඔහුගෙන් ඇමෙරිකාව සමඟ පෙළගැසීම පිළිබඳව ප්‍රශ්න කළ ද, අද වන විට කියුබාව ද ජේ.ආර්. ජයවර්ධන මහතා 1977 දී මෙරටට හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තියම වැළඳගෙන පෞද්ගලික ව්‍යවසාය සහ දේපළ අයිතිය සහිත පූර්ණ ලිබරල් ආර්ථිකයක් කරා පරිවර්තනය වී ඇති බව ඔහු කියා සිටියේය.
ලෝකයේ ‘අංක එක’ වීමේ අරගලය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකාව සහ චීනය අතර පවතින ගැටුම පිළිබඳව ‘එකට ගැටුම’ කෘතියෙන් සාකච්ඡා කෙරෙන බව හිටපු අමාත්‍යවරයා පැවසීය. ඇමෙරිකාව චෙස් ක්‍රීඩාවේ නිරත වන විට චීනය ‘ගෝ’ (Go) ක්‍රීඩාවේ නිරත වන බවත්, රටවල් දෙකක රටාවන් දෙකක් එහි පවතින බවත් සඳහන් කළ ඔහු, චීන තානාපතිවරයා තමන් සමඟ පැවසූ පරිදි මෙම ගැටුම වඩාත්ම නිවැරදිව නිරූපණය කරන්නේ බොක්සිං සහ කුංෆු සටන් කලාවන් හරහා බව ද වැඩිදුරටත් සඳහන් කළේය.