ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව (NTC) සහ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය (LPBOA) අතර ඇති වූ එකඟතාවයකට අනුව එළඹෙන ජූලි මස 06 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ නව ගාස්තු සංශෝධනය යටතේ කිලෝමීටර් 100 දක්වා ගමන් වාර සඳහා බස් ගාස්තුව සියයට 12කින් සහ කිලෝමීටර් 100 ඉක්මවන ගමන් වාර සඳහා ගාස්තුව සියයට 20කින් ඉහළ දමන බවයි. සුඛෝපභෝගී (Luxury) බස් රථ ගාස්තු ද කිලෝමීටර් 100 දක්වා ගමන් සඳහා සියයට 12කින් සහ කිලෝමීටර් 100 ඉක්මවන ගමන් සඳහා සියයට 15කින් ඉහළ දැමීමට නියමිතය. මෙම සංශෝධනයත් සමඟ දැනට පවතින රුපියල් 30ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 34ක් දක්වා ඉහළ යනු ඇත.
මේ අතර, ඊයේ පැවැති කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ 2026 ජූලි මාසය සඳහා වන මෙම බස් ගාස්තු සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි. පවතින බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජූලි 01 වැනිදා ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව විසින් වාර්ෂික බස් ගාස්තු සමාලෝචනය කර සංශෝධනය කරනු ලබයි.
මැදපෙරදිග පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් 2026 පෙබරවාරි මාසයේ සිට ඉන්ධන මිල අඛණ්ඩව උච්චාවචනය වීම, ඉන් ඇතිවූ මෙහෙයුම් පිරිවැය ඉහළ යාම, ඇමෙරිකානු ඩොලරයේ අගය වෙනස් වීම නිසා බස් රථ අමතර කොටස්වල මිල ඉහළ යාම මෙන්ම අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථ සහ ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම මඟින් අලුතින් හඳුන්වා දුන් පහත් පියගැටපෙළ සහිත බස් රථ (low-floor buses) කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වී ඇත. ඒ අනුව පවතින බස් ගාස්තු සූත්‍රය (පිරිවැය දර්ශකය) සහ ගාස්තු ව්‍යුහය යාවත්කාලීන කර සංශෝධනය කිරීම සඳහා ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව විසින් පත්කළ කමිටුවේ නිර්දේශ මත ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.