යාපනය කයිට්ස් පොලිස් වසමේ අලපිඩ්ඩි මංසන්ධිය අසලදී අද (10) අලුයම පොලිස් අණ නොතකා ධාවනය වූ වෑන් රථයකට පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අලපිඩ්ඩි මංසන්ධියේදී සැකකටයුතු වෑන් රථයකට නතර කරන ලෙස පොලීසිය සංඥා කර ඇති නමුත්, එය නොනවත්වා මණ්ඩතීවු ප්‍රදේශය දෙසට වේගයෙන් ධාවනය කර ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන්, කයිට්ස් පොලිස් ස්ථානාධිපතිවරයා ගමන් ගත් ජීප් රථය දැනුවත් කර සැකකටයුතු වාහනය හඹා ගොස් ඇත. එහිදී ද අවස්ථා කිහිපයකදී රථය නතර කරන ලෙස කළ නියෝග රියදුරු විසින් පැහැර හැර ඇති අතර, රථය නැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් ප්‍රථමයෙන් අහසට වෙඩි තබා පසුව වාහනය දෙසට වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ රියදුරු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර ඔහු වඩුක්කොඩෙයි ප්‍රදේශයේ පදිංචි අයෙකු බව හඳුනාගෙන ඇත.
පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ අදාළ වෑන් රථයේ පසුපස අංක තහඩුව ගලවා ඉවත් කර තිබූ බවයි. සිද්ධිය වන අවස්ථාවේ රථයේ සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, කයිට්ස් පොලීසිය සහ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.