Local NewsNewsPolitical

ගල් අඟුරු දූෂණ විමර්ශනය: හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිගෙන් ජනාධිපති කොමිසම පැය දෙකක් ප්‍රශ්න කරයි

ගල් අඟුරු මිලදී ගැනීම්වලට අදාළව සිදුව ඇති බව කියන මහා පරිමාණ අක්‍රමිකතා සෙවීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ඊයේ (30) පෙනී සිටියේය. එහිදී කොමිසමට ලැබී තිබූ විශේෂ තොරතුරු කිහිපයක් පදනම් කරගනිමින් ඒ මහතාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදුව ඇතැයි සැක කෙරෙන මූල්‍ය හා පරිපාලනමය ගැටලු රැසක් කෙරෙහි මෙහිදී අවධානය යොමුව ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කරන ලද මෙම විශේෂ විමර්ශන කොමිසම මෙහෙයවනු ලබන්නේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතුවය. 2009 වසරේ සිට මේ දක්වා කාල සීමාව තුළ මෙරටට ගල් අඟුරු ආනයනය කිරීම සහ ඒ ආශ්‍රිතව සිදුවූ සියලුම ගනුදෙනු පිළිබඳව සූක්ෂ්ම ලෙස විමර්ශනය කිරීම මෙම කොමිසමේ ප්‍රධාන කාර්යභාරය වී තිබේ.

මෙම මහා පරිමාණ විමර්ශන මාලාවට සමගාමීව ඉදිරි දිනවලදී හිටපු අමාත්‍ය කංචන විජේසේකර සහ හිටපු අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන්ගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

මින් පෙර අනාවරණය වී ඇති දත්තවලට අනුව මෙම ගල් අඟුරු ගනුදෙනු හේතුවෙන් රජයට සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් කෝටි 849කට අධිකය. පසුගිය කාල වකවානුව තුළ මෙරට විදුලි ගාස්තු සියයට 150ක වැනි ඉහළ ප්‍රතිශතයකින් වැඩි කිරීමට ද මෙම ගල් අඟුරු අක්‍රමිකතා වක්‍ර ලෙස බලපා ඇති බවට සමාජය තුළ දැඩි විවේචන එල්ල විය.

ජනාධිපති විමර්ශන කොමිසම මේ වන විටත් සිද්ධියට අදාළ සාක්ෂිකරුවන් 28 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන අවසන් කර ඇති අතර, ඉදිරි සති කිහිපය තුළ මෙම පරීක්ෂණ කටයුතු තවදුරටත් වේගවත් කිරීමට නියමිතය.

Related posts

හිටපු ඇමතිලා හතරක් හතරවෙනි තට්ටුවට ගෙන යයි.. හිටපු ජනපතිත් මග එනවා..

Malar FM

ගැසට් නොකළ ආයතන ජනපති ලේකම් කාර්යාලය යටතට

Malar FM

දැන් ඉතින් ජනතාව අහිතකර අණ පනත් අහෝසි කරන්න..

Malar FM